Friday, December 25, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 09 -පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ


ගායනය - නිරෝෂා විරාජිනී

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අසමසම වූ ප්‍රතිභාවෙන්ද නිරෝෂා විරජිනියගේ මධුර ස්වරයෙන්ද හැඩවූ සිංහල ගීත වංශය තුළ සටහන් වූ තවත් එක් විශිෂ්ට ගීත නිර්මාණයක් ලෙස අපට මෙම ගීතය කෙටියෙන් හැදින්විය හැකිය. ගීතයේ අරුත් විමසීමට ප්‍රථම ඊට පසුබිම් වූ සිදුවීම පිළිබඳවද විමසීම, ස්වකීය ජීවන අත්දැකීම් ගීතයක් මගින් ප්‍රතිනිර්මානයෙහි ලා රත්න ශ්‍රී විජේසිංහයන් දැක්වූ සුවිශිෂ්ට හැකියාව තේරුම් ගැනීමෙහිලා මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. සිදුවීම මෙසේය. දිනක් රත්න ශ්‍රී විජේසිංහයන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ යම් කටයුත්තක් සඳහා නැවතී සිටියේ ය. ඒ අසල පිහිටි මහලු කාන්තාවකගේ නිවසකට රත්න ශ්‍රී විජේසිංහයන් ඇතුළු පිරිස පැමිණි අතර කාන්තාව සමග කතා බහේ යෙදෙන අතර එම මහලු කාන්තාවට දරුවන් සිටීදැයි රත්න ශ්‍රී විජේසිංහයන් විමසු විට ඇය මෙසේ පැවසුවා ය.



" මහත්තයෝ මට දරුවෝ නෑ. අපේ එක්කෙනාට දරුවෝ ගැන ආසාවක් තිබුනේ නෑ. එයාගේ ජීවිතේ ඒ කාලේ ඉදන් ගෙවුනේ හේනේ වැඩවලට. උදේ ඉදන් රෑ වෙනකම් හේනේ තමයි ඉන්නේ."

මෙකී සිද්ධිය මත පදනම්ව රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සිතුවිලි ගලා යන්නට විය. නවාතැනට පැමිණ එම කාන්තාව පිළිබඳව සිතූ රත්න ශ්‍රී විජේසිංහයන් ඇය තරුණ කාලයේදී කෙතරම් ජීවිතය පිළිබඳව සුබ සිහින දකින්නට ඇත්දැයි සිතීය. මෙසේ ගලාගිය සිතුවිලි දාමයක අවසන් ප්‍රතිඵලයයි පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ ගීතය.


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

රන්කෙදි සේම රන්වන් ඉරිගූ ඉබිනවද

තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ

රන්කද තාම පැල් රකිනවදෝ නිදි නැතිද...


ගීය තුළ ඇත්තේ එම තරුණ කතගේ මනස තුළ ගලා යන සිතුවිලිය. ගීයෙහි පළමු පද දෙක තුළ ඇය හේනේ සිටිනා තම ස්වාමියාගෙන් පුන්සඳ හේනට පායා ඉරිගු රන්වන් පැහැයෙන් දිලෙනවදැයි විමසයි. ඇයගේ සිත තුළ ඇති ශෝකය ප්‍රකාශ කරනුයේ ඉක්බිතිවය. ඇය නිවස තුළ සිට දවස පුරා දරුවෙකු පිළිබඳව සිහින දැකීමෙන් පලක් නැත. මන්ද යත් ස්වාමියා නිවසේ නැත. තමාගේ ආදරණීය ස්වාමියා (රන්කද) පල තුළ තවමත් නිදිවර්ජිතවය. තමා තනිකර හේනේ සිටියද, තමාට දරු සම්පතක් ලබා නොදුන්නද ඒ නිසාවෙන් තාම ස්වාමියා කෙරෙහි උරණ නොවී ජීවත් වන ආදර්ශමත් බිරිඳකගේ චරිතයද සියුම් ලෙස ගීය තුලින් ඉදිරිපත් කිරීමට රත්න ශ්‍රී විජේසිංහයන් උත්සහ දරන බවක් පෙනේ.


නිල් තරු රෑන ඉගි බිඟි පාන අහස යට

පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

මල් පිපුනාට ගෙඩි නැහැ තාම අඹ ගහට


හේනේ සිටින තම ස්වාමියා එනතුරු පිලකඩ උඩට වී බල සිටීමට ඇයට සිතෙයි. ඇයගේ ජීවිතයේ තනිකම පිලිබදව සහ දරුවෙකු නොමැති බව පිළිබඳව ඉතාම මනරම් පද යුගලයකින් රත්න ශ්‍රී විජේසිංහයන් ගීය තුළ ලියා දක්වනුයේ මෙතැනදීය.


මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

මල් පිපුනාට ගෙඩි නැහැ තාම අඹ ගහට


ගිරවුනි ඔබලා පැමිණීමෙන් පලක් නැත. අඹ ගසේ මල් පිපුන මුත් ඵල දරා නැත. එනම් ඇය විවාහ වී ඇත. නමුත් තවම දරු සුරතල් බැලීමට තරම් ඇය වාසනාවන්ත වී නැත. අදහස් ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීම විෂයෙහි හෙළ කලාකරුවා සතු වූ ප්‍රතිභාව කෙතරම් නම් සිත්ගන්නා සුලුද.


රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන

රන් මල් යාන හීනෙන් දකින පින පමණ

තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන

රන් කැටි පුතුට ඉඩ මදිවාද මගේ යහන...


මෙහිදී ඇතාට උපමා කර ඇත්තේ ඇගේ නුඋපන් දරුවාය. තාම ස්වාමියා මෙන්ම පින්බර පුතෙකු දකින්නට ඇයට හැකි වේවීදැයි ස්ථීර නැතුවා මෙන්ය. ගීයෙහි අවසාන කොටසේදී ඇය තම ස්වාමියාගෙන් දරුවෙකු වෙනුවෙන් තම යහනේ ඉඩ නැතිවාදැයි විමසයි. ඇයට අවැසි වනුයේ නිවසට අමුත්තෙකු එනු දැකීමය. තුම්පත් රෑනකට උපමා කරන්නේ ඔවුන්ගේ සම්පුර්ණ වූ පුංචි කැදැල්ලයි.

දරුවෙකු නොමැති වූ ගැහැනියකගේ සිතුවිලි මෙන්ම, ආදරණීය බිරිදකගේ චරිතයද ඉතාම සරල වූ පද පෙලකින් ප්‍රබලව මතු කිරීම උදෙසා රත්න ශ්‍රී විජේසිංහයන් මෙම ගීතය තුළ දක්වා ඇති සමර්ථ බව සැබවින්ම ඇගයුමට පාත්‍ර විය යුතුය. අතීත හෙළ කල කරුවා සතු වූ වියත් ලෙසත් සුගම ලෙසත් බස හැසිරවීමේ කෞශල්‍ය වර්තමාන පරම්පරාවේ කලාකරුවන් තුළ නොමැති වීම නම් අතිශය ශෝකජනකය. හුදෙක් බටහිර අනුකාරකයන් පමණක් වන නුඋතන කලාකරුවන් මෙවැනි ගීත අධ්‍යයනයෙන් හෝ යහපත් නිර්මාණ බිහිකරනු ඇතැයි යන්න හෙළ කලාවට ලැදී අප සැමගේ එකම පැතුම මෙන්ම බලාපොරොත්තුවද වේ.



උපුටා ගැණිම - මුහුණු පොත

Reactions:

1 comments: